මේ තමයි වෙලාව.. ඉතින් මා නික්‌ම යා යුතුයි..

ක්‍රිකට්‌ උපන් රට වන එංගලන්තය පවා ලෝක කුසලාන ජයක පහස විඳ නොමැති වුවද ලෝක සිතියමෙහි පැන්සල් තුඩකට ගොනු කළ හැකි තරම් කුඩා ශ්‍රී ලංකාව, ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් අත්කරගෙන ඇති ජයග්‍රහණ බොහෝය. එවන් ස්‌වර්ණමය විජයග්‍රහණයන් වාර්තා කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට උරදුන් ක්‍රීඩකයන්ද බොහෝය. ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද එම ශ්‍රේෂ්ඨයන් අතරින් මහේල ජයවර්ධනට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති නායකයන් අතුරින් වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතයක්‌ තවමත් ලියෑවී ඇත්තේ මහේලගේ නායකත්ව ඉදිරියේය. අර්ජුන රණතුංග සහ ලසිත් මාලිංග මෙන් මෙරටට ලෝක ශූරතා දිනා දීමට මහේල අපොහොසත් වුවද ශ්‍රී ලංකාවෙන් මෙතෙක්‌ පහළ වූ හොඳම නායකයා ලෙස විචාරකයින් සලකනු ලබන්නේ මහේල ජයවර්ධනය.
1997 වසරේදී ඉන්දියාවට එරෙහිව ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවට අත්පොත් තබන ලද මහේල වසර 18 ක කාලයක ඇවෑමෙන් දැන් සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියට සමුදීමට සූදානමින් සිටින්නේය. පාකිස්‌තානය සමග ලබන අගෝස්‌තු මස 14 වැනිදා තම ක්‍රීඩා සමාජ පිටිය වන සිංහල සමාජ ක්‍රිකට්‌ පිටියේ පැවැත්වෙන තරගය මහේලගේ අවසන් ටෙස්‌ට්‌ තරගය වනු ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ ඉනිමක වැඩිම ලකුණු ලබා ඇති පිතිකරුවා වන මහේල (දකුණු අප්‍රිකාවට එරෙහිව 374) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී ගති පැවැතුම් ඇත්තෙකි. ඔහුව මට මුණ ගැසෙන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ එස්‌. එස්‌. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ තරගය පෙර දිනයේදී සිදුකරන ලද පුහුණුවීම් අතරතුරදීය.

සාකච්ඡාවට මුලපිරීම වෙනුවෙන් ප්‍රථමයෙන්ම අසන ලද පැනය වූයේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කිරීම පිටුපස කිසියම් බලපෑමක්‌ තිබුණේද…? යන්නය. එතැන් පටන් මහේල සමග සිදුවූ කතා බහ මෙලෙසිනි.
ප්‍රශ්නය(- හදිසියේම ඇයි ඔබ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළේ. කිසියම් බලපෑමක්‌ නිසාද..?
පිළිතුර(- අපෝ නෑ.. හදිසියක්‌ නෑ. මං හිතලා ගත්තු තීරණයක්‌. නායකත්වය දරද්දීත් මම මේ වගේ තීරණ අරන් තියෙනවා. එහිදී මං බැලුවා මම දැන් ඉන්නේ කොහෙද කියන එක සහ ඉස්‌සරහට මගෙන් මොකද්ද කණ්‌ඩායමට වෙන්න ඕන කියන එක. එතනදී මට ඒ දේ කරන්න පුලුවන්ද කියන එක ගැන හිතලා ගත්ත තීරණයක්‌ මේක. නැතිව හදිසියේ හෝ කාගෙවත් බලපෑමක්‌ මත ගත්තු තීරණයක්‌ නොවෙයි.

ප්‍රශ්නය(- ටෙස්‌ට්‌ තරග 150 ක්‌ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ලෝකෙ ඉන්නෙ ඉතාමත් අතළොස්‌සයි. ඔබගේ සමුගැනීම වන කාලයේදී ඔබ තරග 149 කට දායකත්වය දරනවා. 150 වැනි තරගයටත් ක්‍රීඩා කරලම ගියානම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද…?
පිළිතුර(- මේ අවුරුද්දෙන් පස්‌සෙ ආයිත් ටෙස්‌ට්‌ තරග තියෙන්නේ ලබන අවුරුද්දේ අගෝස්‌තුවල. ඒක ලොකු කාලයක්‌. ලබන අවුරුද්දටම ටෙස්‌ට්‌ තරග 6 ක්‌ විතර තියෙනවා. ඒත් ඒ කාලෙදි මම ආයිත් ආපස්‌සට එන්නේ නෑ. වයසට යන එක විතරයි වෙන්නේ. එහෙම බැලුවහම හේතුවක්‌ තියෙන්න ඕන මම කණ්‌ඩායමේ ඉන්න එකට. එහෙම නැතුව බොරුවට ඉඳලා වැඩක්‌ නැහැ. මේ අවුරුද්දේ අපි ටෙස්‌ට්‌ තරගවල හොඳින් කළා වගේම විස්‌සයි/20 ලෝක කුසලානයත් ජයග්‍රහණය කළා. ඒක නිසා මම හිතෙනවා මේක තමයි හොඳම වෙලාව ටෙස්‌ට්‌ තරග අංශයෙන් සමුගන්න. පන්දුවාර 50 ලෝක කුසලානත් ක්‍රීඩා කළාට පස්‌සේ අලුතෙන් කණ්‌ඩායමක්‌ හදාගෙන යන්න කණ්‌ඩායමට ලොකු දුරක්‌ යන්න පුලුවන්. ඉතිං ඒකට ඉඩ දීලා අයින් වෙන එක තමයි හරි දේ කියලයි මට හිතෙන්නේ.

ප්‍රශ්නය(- ඔබ ගත්තු මේ තීරණය කොයි විදියට ඔබට දැනුණේ. පහසු එකක්‌ද අමාරු එකක්‌ද…?
පිළිතුර(- ඔව්. ඒක ඇත්තටම ඉතාම අමාරු තීරණයක්‌. මම දැනගෙන හිටියා මේ තීරණය මා විසින්ම ගත යුතු තීරණයක්‌ බව. කොහොම වුණත් මේ සම්බන්ධව මම කිහිප දෙනෙකු සමගම සාකච්ඡා කළා. හැබැයි එහිදී මට කිසි කෙනෙක්‌ කිව්වේ නැහැ ක්‍රීඩාවෙන් සමුගන්න කියලා. ඒ ගනු ලැබූ තීරණය තනිකරම මා විසින් ගත්ත තීරණයක්‌. මම එතනදි එයාලගෙන් අදහස්‌ විමසුවා විතරයි. මම ගත්ත තීරණ ගැන ඔවුන් කිසිවෙක්‌ මට කිසිම බලපෑමක්‌ කරේ නැහැ.
ප්‍රශ්නය(- කවුරු සමගද ඔබ මේ පිළිබඳව ප්‍රථමයෙන්ම සාකච්ඡා කළේ. ඔහු හෝ ඇය මොනවගේ අවවාදයක්‌ද ඔබට ලබා දුන්නේ…?

පිළිතුර(- මගේ බිරිඳ සහ මගේ දෙමව්පියන් සමගයි මේ ගැන මම සාකච්ඡා කළේ. එයාලා තමයි මේ දීර්ඝ කාලය තිස්‌සේම මා පිටුපස්‌සෙන් හිටියේ. එහිදී මම අදහස්‌ කළේ මගේ තීරණය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට පමණයි. එහෙම නැතුව මගේ මතය වෙනස්‌ කරන්න හිතාගෙන මේ පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කළේ නැහැ. මෙය කාලයක්‌ තිස්‌සේ මගේ හිතේ තිබිච්ච දෙයක්‌. මම විශ්වාස කරනවා ඒ කාලය දැන් හරියට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා මම මේ තීරණය ගත්තා.
ප්‍රශ්නය(- පිතිකරුවකු ලෙස ඔබගේ ක්‍රිකට්‌ දිවියේ ලබාගත්ත හොඳම ජයග්‍රහණය ලෙස සලකන්නේ මොකද්ද…?
පිළිතුර(- ගොඩක්‌ අවස්‌ථා තියෙනවා. විශේෂයෙන්ම අවසන් වසර කීපය තුළදී විශේෂ ක්‍රීඩකයන් සමගින් ක්‍රීඩා කරමින් එම සුවිශේෂී අවස්‌ථාවන් උදාකරගෙන තියෙනවා. එහිදී සනත් ජයසූරියගේ නායකත්වය යටතේ අපි එක දිගටම ටෙස්‌ට්‌ තරග 11 ක්‌ ජයග්‍රහණය කිරීම සඳහන් කරන්න පුලුවන්. පසුව අපේ හොඳම කාලය වුණේ 2005 සිට 2008 වසර දක්‌වා වූ කාලය. එහිදී අපි බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම ඔවුන්ගේ දේශයේදීත්, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ඔවුන්ගේ මව්බිමේදීත් අවස්‌ථා කීපයකදී පරාජය කිරීමට හැකියාව ලැබුණා.

පෞද්ගලික වශයෙන් කියනවා නම් ලෝඩ්ස්‌ වල ලබාගත්ත ශතකය මට විශේෂයි. ඒක මගේ ජීවිතයට වටිනා ශතකයක්‌ වුණා. ඒ ශතකය මට බොහෝ දෙවල් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ කියාදුන්නා. විශේෂයනේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී අමාරු තරගයකදී මානසිකව හැඩගැසෙන්න කොහොමද කියන එකට ඒ ඉනිම මට උදව් වුණා. ඒ වගේම දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලබාගත් ලකුණු 374 ත් මං හිතනවා මගේ ක්‍රිකට්‌ දිවියේ ලබාගත්ත විශිෂ්ට ජයග්‍රහණයක්‌ කියලා. එම ඉනිමෙන් ඔප්පු කරලා පෙන්නුවා ටෙස්‌ට්‌ තරගයකදී මට දීර්ඝ ඉනිමක්‌ ක්‍රීඩා කරන්න පුලුවන් කියන එක. ඒවා තමයි ගොඩක්‌ වෙලාවට මගේ දිවියේ විශේෂ අවස්‌ථා.
ප්‍රශ්නය(- ඔබට මෙතෙක්‌ ක්‍රීඩා කරන ලද දිවිය තුළදී ලබාගත නොහැකි දෙයක්‌ තිබුණා නම්…?
පිළිතුර(- මම ඇත්තටම දුක්‌වෙනවා ඔස්‌ටේ්‍රලියාවේදී කණ්‌ඩායමක්‌ ලෙස ජයග්‍රහණයක්‌ සැමරීමට අවස්‌ථාව නොලැබීම ගැන. එම අවස්‌ථාව උදාකර ගැනීමට නොහැකිවීම තමයි මගේ ක්‍රිකට්‌ දිවියේ වැඩියෙන්ම කණගාටුදායක වෙන දේ.
ප්‍රශ්නය(- වසර 18 ක්‌ වැනි දීර්ඝ කාලයක්‌ ඔබ ක්‍රිකට්‌ පිටියේ රැඳී සිටියා. ඒ කාලය තුළ කොහොමද ක්‍රීඩකයකු ලෙස ඉහළම හිනිපෙත්තේ රැඳී සිටීමට මානසිකත්වය ඔබ හදාගත්තේ …?

පිළිතුර(- එය ඇත්තටම පෞද්ගලිකව කරපු දෙයක්‌ නොවෙයි. හැම තිස්‌සේම කණ්‌ඩායම ගැන හිතනකොට සහ ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් කියලයි කියල හිතෙනකොට ඒ හිතීම මට විශාල සහයෝගයක්‌ ලබා දුන්නා හොඳ ක්‍රීඩකයෙක්‌, පිතිකරුවක්‌, සහ නායකයකු ලෙස කණ්‌ඩායමට දායකත්වය ලබාදෙන්න. මේ තුළින් කණ්‌ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කණ්‌ඩායමේ තතත්ත්වය ඉහළට ගෙන ඒමට මට අවස්‌ථාව ලැබුණා.

ප්‍රශ්නය(- ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්‌ කළ පිතිකරුවා බවට පත්වෙමින් ඔබගේ දිවිය අවසන් කිරීමට තිබූ අවස්‌ථාව සංගක්‌කාර නිසා ඔබට අහිමිවෙනවා. ඒ පිළිබඳව කණගාටුවක්‌ තියෙනවද…?
පිළිතුර(- කොහෙත්ම නැහැ. පසුගිය වසර හය හත තුළ සංගක්‌කාර ලබාගෙන තියෙන දේවල් අද්විතීයයි. සංගක්‌කාර මෙන්ම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් වන අරවින්ද, මුරලි, වාස්‌ සහ ඇන්ජලෝ මැතිව්ස්‌ වැනි ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමට ලැබීම ඉතාමත් භාග්‍යයක්‌ කියලා මම සලකනවා. සංගක්‌කාර ළගා කරගෙන තිබෙන දේවල් පිළිබඳව මට අගය කරන්න පුලුවන්. මමත් බැලුවේ කළමනාකරණය කරගෙන දෙන්නාට දෙදෙනා හොඳින් ක්‍රීඩා කරගෙන යන්න. ඒ සඳහා අපි අතර සුහද තරගයක්‌ තිබුණා. එහිදී අපි දෙන්න ලබපු සාර්ථකත්වය හරහා කණ්‌ඩායමේ ජයග්‍රහණයට මගපෑදුණා. මෙහිදී අපි සංගක්‌කාරගේ දත්ත වාර්තා දිහා බැලුවොත් ලෝකයේ සිටින හොඳම පිතිකරුවා තමයි සංගා. ක්‍රීඩකයෙක්‌ විදියට මම ගොඩක්‌ සතුටු වෙනවා ඔහු(සංගක්‌කාර) පිතිකරුවකු ලෙස ලබා තිබෙන සාර්ථකත්වය ගැන.

ප්‍රශ්නය(- නායකයකු ලෙස කටයුතු කරමින් සිටියදී ඔබ 2009 වසරෙදි එයින් ඉවත් වුණා. නායකත්වයේ ඉඳලා නැවතත් සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස හැඩ ගැසීම අසීරු කටයුත්තක්‌ද…?
පිළිතුර(- ඒක අමාරු දෙයක්‌ නොවෙයි. මං විශ්වාස කරන්නේ නායකත්වට පත්වනවාට වඩා ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කිරීමයි වැදගත්. ක්‍රීඩකයකු ලෙස හොඳින් ක්‍රීඩා කිරීම වැදගත්ම කර්තව්‍ය. එහෙම වුණාම නායකත්වයෙන් අහක්‌ වුණා කියලා ක්‍රීඩකයෙක්‌ ලෙස කණ්‌ඩායමට ඇතුළත්වීම ප්‍රශ්නයක්‌ නැහැ. ඒ නිසා කිසිම ප්‍රශ්නයකින් තොරව ඒ අවස්‌ථාවේදී නැවතත් ක්‍රීඩකයෙකු ලෙස කණ්‌ඩායමට දායකත්වය ලබාදෙන්න මට හැකියාව ලැබුණා.

ප්‍රශ්නය(- ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ලෙස ඔබගේ ජීවිතයේදී විඳි සතුටුම අවස්‌ථාව ගැන කතා කළොත්…?
පිළිතුර(- මගේ ප්‍රේක්‍ෂකයන්. ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ලෙස මම ලද සතුටු දේ තමයි මගේ ප්‍රේක්‍ෂකයන්. මා විශ්වාස කරනවා ලෝකයේ සිටින හොඳම ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයන් සිටිනනේ ශ්‍රී ලංකාවේ කියලා. එයාලා ක්‍රීඩාව හොඳින් තේරුම් ගත්ත පිරිසක්‌. ඒ වගේම එවැනිම ආදරයක්‌ ඔවුන් මේ ක්‍රීඩාව වෙනුවෙන් කරනවා. මෙයාලා කවදාවත් තරග පැරදුණා කියලා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් එක්‌ක වෛර බඳින දේවල් කරලා නැහැ. කවදාවත් ක්‍රීඩකයින්ව අපහසුතාවයට පත් කළේ නැහැ. එම නිසා ක්‍රීඩකයෙක්‌ ලෙස කණ්‌ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ හැම අවස්‌ථාවක්‌ම මම ඉතාමත් සතුටින් ක්‍රීඩා කරලා තියෙනවා.

ප්‍රශ්නය(- ඔබ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ නායකයකු ලෙස සලකනවා. එහිදී නායකයෙක්‌ විදියට ආපහු හැරිලා බැලුවොත් කණ්‌ඩායම තුළ වෙනස්‌ විය යුතුයි කියලා හිතන්නේ මොන වගේ දේවල්ද…?
පිළිතුර(- නැහැ. මගේ ජීවිතයේ ජයග්‍රහණ මෙන්ම පරාජයන්හිදීත් සෑම දෙයකින්ම මට ක්‍රීඩකයෙක්‌ ලෙස ඉදිරියට එන්න රුකුළක්‌ ලැබුණා. ඒක මට පමණක්‌ නොවෙයි කණ්‌ඩායමක්‌ ලෙස අපිට ඉදිරියට යැමට උදව්වෙලා තියෙනවා. මං හිතනවා ක්‍රීඩකයෙක්‌ ලෙස කණ්‌ඩායම තුළ ගත කරපු අවු. 18 ක පමණ කාලය ඉතාමත් විශිෂ්ඨ කාලයක්‌ කියලා. ඒ තුළ හැළ හැප්පීම්, ජය, පරාජය, මේ සෑම දේම මුසුවෙලා තිබුණා. ඒ මුසුවීම එහෙමත් නැත්නම් සංකලනය තුළ මට හැකියාවක්‌ තිබුණා අද සිටින මහේල ජයවර්ධන බවට පත්වීමට.

ප්‍රශ්නය(- අපි බැලුවොත් පසුගිය කාලයේදී විශාල නවක ක්‍රීඩකයන් පිරිසක්‌ කණ්‌ඩායමට පැමිණිලා තියෙනවා. එහිදී කීප දෙනෙක්‌ තමයි සිය ස්‌Aථානයන් තහවුරු කරගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම චන්දිමාල් සහ තිරිමාන්න දෙදෙනාටත් තවම එතනට පැමිණෙන්න බැරි වෙලා තියෙනවා…?

පිළිතුර(- මේ ක්‍රීඩකයන් දෙදෙනා (චන්දිමාල් සහ තිරිමාන්න)ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයන්. හැබැයි ජාත්‍යන්තරයේ ක්‍රිකට්‌ ක්‍රීඩා කරනවා කියන්නේ ඉතාමත් අමාරු කාර්යයක්‌. මම දැකලා තියෙනවා සමහර ක්‍රීඩකයෙන් ජාතික කණ්‌ඩායමට පැමිණෙද්දී ඉතාමත් පහසුවෙන් ඒ සඳහා අවතීර්ණ වෙනවා. තවත් සමහර ක්‍රීඩකයන් ඒ සඳහා දීර්ඝ කාලයක්‌ ගත කරනව ඔවුන්ගේ ස්‌ථානය තහවුරු කරගැනීමට. මේක අද කාලයට පමණක්‌ වලංගු දෙයක්‌ නොවෙයි. මම ක්‍රීඩා කරන කාලයේ සහ මට කළින් සිටි ක්‍රීඩකයන්ට පවා මේ තත්ත්වය පොදු වෙලා තිබුණා.

හැබැයි මේ තතත්වය වෙනස්‌ කිරීමට නම් යම් කිසි ක්‍රමවේදයක්‌ සැකසිය යුතුයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම පහළ මට්‌ටමේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට මීට වඩා හොඳ තරගාවලි ලබාදිය යුතුයි කියලා මම විශ්වාස කරවනවා. අපිට හැකියාවක්‌ තියෙනවා නම් දැනට පවතින පාසල් ක්‍රිකට්‌ තරගාවලි විශේෂයෙන් අවුරුදු 17 න් පහළ සහ 19 න් පහළ තරගාවලි දින 4 තරගාවලි වශයෙන් පැවැත්වීමට, මීට වඩා දක්‍ෂ ක්‍රීඩකයන් බිහි කිරීමට හැකියාවක්‌ ලැබෙනවා. ඒ හරහා පිතිකරුවන්ට දීර්ඝ ඉනිම් ක්‍රීඩා කිරීමට මෙන්ම පන්දු යවන්නන්ට දිගු පන්දුවාර සංඛ්‍යාවක්‌ තරගයකදී යෑවීමේ අවස්‌ථාව ලැබෙනවා. මේ හරහා විශේෂයෙන් ටෙස්‌ට්‌ තරගවලට පැමිණන ක්‍රීඩකයන්ට බොහෝ අත්දැකීම් ලබාගැනීමට හැකියාවක්‌ තියෙනවා කියලා මම හිතනවා.
ප්‍රශ්නය(- ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු මහේල ජයවර්ධන කොයි වගේ පැත්තකට යයිද. පුහුණුකරුවෙක්‌, විස්‌තරවිචාරකයෙක්‌ හෝ දේශපාලනඥයෙක්‌…?

පිළිතුර(- මේ කිසිම දෙයක්‌ මගේ ආශාවන් නොවෙයි. හැබැයි කොහොම වුණත් මගේ බලාපොරොත්තුවක්‌ තියෙනවා ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් උකහාගත් දෙයින් ක්‍රිකට්‌ ක්‍රීඩාවට නැවත දෙයක්‌ ලබාදෙන්න. මේ ගැන මා තවම තීරණය කරලා නැහැ. දේශපාලනයට කෙසේ වෙතත් මගේ බලාපොරොත්තුව යම් කිසි විදියකින් දායකත්වයක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාව වෙනුවෙන් ලබාදීමයි.

සාකච්ඡා කලේ
චමිල කරවිට

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...